අමතක කළ නොහැකි වේදනාවක බ්ලොග් වියමන.

Saturday, March 3, 2018

ආදර ප්‍රදී - අවසන් කොටස


ආදර ප්‍රදී - අවසන් කොටස 





ඇය ගැන මතකයට අමතරව ඇය පිළිබඳව සුරැකිව ඇති එකම සිහිවටනය වන්නේ මුද්දරයක තරම ගත් ඇගේ උඩුකය පින්තූරයකි. උරිස් ඇට ඉලිප්පී පෙනෙන ඇගේ කෙසඟ උඩු කය පටි ගවොමකින් සැරසී ඇත.පටි ගවොමේ පටි අතර රෑලි තීරුවක් දිවෙන්නේ පහළට හැලෙන රැළි ඇගේ කුඩා පපුව මතට වැටෙන පරිදිය. මේ පටි ගවොම ඇය තරමටම ඔහුගේ මතකයේ තැන්පත් වී ඇත්තේ ඇය නිතර නිතර ඒ ගවොම ඇදි නිසාම පමණක් නොවේ.


ඇය නිතරම අදින මේ පටි ගොවොමේ පටි දෙක අස්සෙන් එළියට පනින ඇගේ යට ඇඳුම දුටු කිහිප විටක් ම එය වෙනත් කොල්ලන්ගේ කතා බහට හෝ නෙතට ලක්වනු ප්‍රිය නොවූ ඔහු නිතරම ඇයට ඇවිටිලි කරේ ඒ ගවොම නාදින ලෙසටයි. නමුත් ටික දිනකට පසු නැවතත් ඇය ඒ ගවොමම අදින්නට පටන් ගෙන තිබුනු නමුත් කොහෙන් හෝ සොයා ගත් පිත්තල පැහැති ඉතා කුඩා ආයකටු දෙකකින් ඇගේ යට ඇදුමේ පටි , ගවොමේ පටි වලට අල්ලා හිර කර තිබුනේ යලිදු ඒවාට එළියට පනින්නට ඉඩක් නොදෙන ලෙසිනි. 

වඩාත් හොඳින් නිරීක්ෂණය කල විට පමණක් දැකිය හැකි ඒ පිත්තල පැහැති කුඩා ආයකටු දෙකත් ඇය මෙන්ම සිහින්ව වඩාත් හුරුබුහුටිව ඇගේ කෘශ උරහිස් මතට වී සැඟවී සිටියා ඔහුට මතකය. ඇය එවූ පිටු ගණන් දිග ලියුම් ද , පිටු බාගෙ හදිසි කෙටි ලිපි ද , මතක සැමරුම් කාඩ් පත් ද සමඟින් මේ කුඩා මුද්දර ප්‍රමාණයේ පින්තූරය ද වසර විස්සකට පසුවත් ඔහුගේ කාර්යාල මේසයේ යටම ලාච්චියේ සුරැකිව තිබුණි.

ඉඳහිට දිනක තම කාර්යාල මේසයේ යටම ලාච්චුව හරින ප්‍රධානියා ඉන් යමක් පිටතට ගන්නා අයුරුත් වරු ගණනක් ඒ දේවල් සමඟින් ගත කරන අයුරුත් එදිනට වෙනත් කිසිවෙකුත් සමඟින් සිදුකරන කතා බහ අත්‍යාශ්‍ය දෙයකට පමණක් සීමාවන අයුරුත් හොඳින් නිරීක්ෂණය කලේ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය පමණි. දිනක් ඔහු නැති වේලාවක් බලා යටම ලාච්චුව විවෘත කළ ඇය එහි ඇති පෙම් හසුන් සියල්ලත් පින්තූරත් පුලුස්සා දැමීමට තරම් එඩිතරවී තිබුනා පමණක් නොව , එසේ කිරීමට හේතු ලෙසට ඔහු විවාහකයෙකු බවත් දරු දෙදෙනකුගේ පියකු බවත් මතක් කර දීමටත් අතීතය යනු නැවත නැවත ස්මරණය කරමින් ගිලී කිමිදිය යුතු මතක විලක් නොවන බව පැවසීමට තරම් එඩිතර එකියක වූවා ය...

නමුත්....ඇගෙන් ද ගිලිහී ගිය මේ පුංචි මුද්දර සයිස් පින්තූරය ලාච්චුවේ අඩියේ ලෑලි දෙකක් අතර හිඩැසක සිරවී තිබී ඔහුට හමුවූයේ හදවතේ හිඩැසි තැනක ඇය ගැන මතකය පෑරි පෑරි තිබෙනා ලෙසටමය.........

ඔහු ළඟ තිබී දැන් මා ළඟට ලැබී ඇති ඊමේල් ලිපියෙහි ඇති ඇමුණුමක් ලෙසින් ඇති ඇගේ පින්තූරය දෙස මා කීපවතාවක් බැලුවාදැයි මතක නැතත් ඇගේ රුව මා මනසින් නම් ලෙහෙසියකට ගිලිහී නොයනු ඇතැයි මට සිතේ. 

ඇය එතරම් රූමත් එකියක නොවුවා ය. නමුත් ඈ සතුව දීප්තිමත් නෙතු සඟලක් හිමිව තිබුණි.ඒ සියල්ලටම වඩා ඔහුගේ හද ගැඹුරේ අදටත් පැල පදියම් වී ඇති ආදරය දිනා ගන්නට ඇය සමත්ව සිටියා ය. නමුත් එදා නුවර රැජිණ හෝටලය ඉදිරිපිට ඔහු එනතෙක් මඟබලා සිටි දිනට පසුව වසර විස්සකටත් වඩා කාලයක් ගත වී තිබුන ද ඇය ගැන කිසිදු විස්තරක් ඔහු සතු නොවී ය.ඇගේ අසරණ ජීවිතය ආගාධයෙන් ගොඩ ගැනීමට තමන් දී තිබූ පොරොන්දු ඉටු කිරීමට නොහැකි වීම නිසා ඔහු සිත වඩ වඩාත් කම්පාට පත් වී තිබුණි. ඇය කොහේ හෝ සතුටින් සිටිනු ඇත කියා සිත හදා ගන්නට ඔහුට නොහැකි වූයේ එබැවිනි. 

ඔය අතර තුර දී ඔහුගේ පාසලේ මිතුරන් විසින් සංවිධානය කරන ලද  ඔහුගේ කණ්ඩායමේ මිතුරු හවුලකට ඇරයුමක් ඔහුට ද ලැබී තිබුණි. එය දුටු වහාම ඔහුගේ සිත තුල වූ බලාපොරොත්තු නැවතත් අලුත් වූයේ ඇය ගැන තොරතුරක් දැන ගැනීමේ බලවත් ආසාව එතරම්මව දැඩි වූ බැවිනි. නමුත් .......... අවාසනාවක මහත , ප්‍රදී ගැන කිසිදු විස්තරක් දත් කිසිවෙකු හමුවට සහභාගීවූවන් අතර නොවී ය. නමුදු ඇගේ එක් මිතුරියක හෝ හමුවට සහභාගී වී නොතිබුනු අතර ඇය හා පාසල් පැමිණි එක් මිතුරයක් පියයුරු පිළිකාවක් වැලදීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් පසුවන බැව් දැන ගන්නට ලැබුනෙන් ඇයගේ සුව දුක් විමසීමට යාමට  ඔහු එක් දිනක් වෙන් කර ගත්තේ තම දියණියත් කැටුව එහි යාම ට ඔහුට සිදු විය.

සාධාරයෙන් පිළිගත් මිතුරියගේ රූප සෝබාව ඒ වන විට බෙහෙවින් වෙනස් වී තිබුණේ ඇය වයසට යාමටත් වඩා ඇගේ සෝචනීය අසනීපය නිසා ය. දිගු වරලසක හිමිකාරියක්ව සිටි ඇය පාසල් යුවතියක්ව සිටි කාලයේ දී බොහෝ සෝබමානව සිටියා ඔහුට මතකය. ප්‍රදී සමඟින් ඉතා  සමීප මිතුරුකමයක් එවක ඇයට තිබෙන්නට ඇතැයි ඔහු අනුමාන කර තිබුණි. නමුත් නිතරම තමන් ළඟ දැවටෙන දියණියත් අසනීපයෙන් පසුවන මිතුරියත් හමුවේ “ ප්‍රදී “ ගැන සෘජුව විමසීම අපහසු වුව ද ,  ඉඩක් ලද සැණින් “ ප්‍රදී ට කොහොම ද? “ විමසීමට තරම් වසර විස්සක් ඉවසූ සිත නොයිවසිලිල්ලට පත් වී තිබුණි.

ඔහු දෙස සෘජුව බැලූ ඇය , වහා ඔහු ගේ දෑස් මඟහැරියේ ඔහු ඇසූ පැණය ද එලෙසින්ම මඟහරිමිනි. ඒ මඟහැරීමේ ඉරියව්ව තුලින් ඇය නම් කුමක් හෝ තොරතුරක් දන්නා බැව් ඔහුට ස්ථිර වූයෙන් ඇගේ මුහුණට නැවතත් එඹුනේ මෙවර නම් පිළිතුරක් නොදී මඟහැරීමට නොහැකි ලෙසට. ඔහුගේ තීක්ෂණ දෑසේ සටහන්ව තිබූ ආයාචනය මඟහැරිය නොහැකි තරමට ප්‍රබල වූයෙන් මෙතෙක් කල් මා අකුරු කරමින් ආ කතාවේ “ ආදරණීය ප්‍රදී “ ගේ ඉරණම සැලකර සිටිමට ඇයට සිදු විය.




-----------------------------------------


පසු කතාව -

එදා සිට අද දක්වා ගත වූ කාලය තුලදි ඇගේ ඉරණමේ එකම වගඋත්තරකරු තමන් යැයි ඔහුට නිතර නිතර සිහිවේ. එකම නුවරක කිලෝමීටර් කීපයක් දුර දෙතැනක ඇය ඔහු එනතෙක් බලා සිටීමත් , ඒ කිසිවක් නොදැන ඒ නුවරම තැනක කාමරයකට වී ඔහු මිතුරන් සමඟින් ගත කිරීමත් සිහිවන විට දී ඔහුගේ සිත දුකින් පිරී ය යි.සතියකට දෙතුන් දවසක් රැජිණ හෝටලය ඉදිරිපස ඔහු එන තෙක් ඇය බලා සිටි තැන නැවතී සිටිමින් ඇය සිටින්නට ඇති අයුරු මතක් කර ගනිමින් සිත පාරවා ගනිමින් වේදනා විදියි.


අවසානයේ මේ කිසිදු දෙයකට කොහෙත්ම සම්බන්ධයක් නැති මා සොයා එන ඔහු ප්‍රදී ගේ දිවිනසාගැනුමට ඔහු කෙලින්ම වගකිවයුතු දැයි අසයි............ 


ඔහුගේ සිතැඟි ගැන , ඔහු ගැන කිසිවක් නොදන්නා මා පවසන්නේ “ ඔවු , ඔයාත් වැරදි තමයි “ යන්නයි..... ටිකින් ටික ප්‍රදී ගේ කතාව ඔස්සේ ප්‍රදීටත් වඩා ඔහුව හඳුනා ගන්නට අවස්ථාව සැලසෙන විට ඔහුට කියූ කතාව වෙනස් කර ගන්නට ඇත්නම් යැයි මට සිතුනු වාර අනන්ත ය.

මිනිසුන් ගෙනෙනා ආයුෂ වලට තවත් කෙනෙකුට වගකිව හැකි නොවන මුත් ජීවිතයේ යම් යම් තීරණ ගන්නා විට දී ඔවුන්ගේ ජීවිත වල පුරුකක් වී සිටින අපටද එහි කොටසක් වීමට සිදු වීම නොවලැක්විය හැකි කරුණකි....... 

නමුත් ඔහු ඇයට කෙතරම් ආදරේ දැයි දන්නා එකම ප්‍රාණියා මම වෙමි.මිය ගිය පසුත් ඔහුගේ ආදරයක සෙවනේ ජීවත් වන ඇයට කෙසේ මේ ගැන පවසන්නේ දැයි නොදැන , අවසන කලහැකි එකම දෙය මෙසේ බ්ලොග් පිටු කීපයක අකුරු අතර ඒ ආදර කතාව තවරා තිබීමට ගත් උත්සාහයේ අවසානයයි මේ.


Saturday, February 24, 2018

ආදර ප්‍රදී 13

ආදර ප්‍රදී 13


මව විසින් විවෘත කර බලා තිබූ ලිපිය නිවසට ලැබෙන්නට ඇත්තේ තමා නුවර ගිය දිනය ආසන්නයේ දීම වන්නට ඇති බැව් ඔහුට විශ්වාසය. එය කියවා ඇති වූ පසු තැවිල්ල , සහ රිදුනු සිත වසර ගණනාවක් ගති වී ගොස් තිබු අද දිනය වන විට ද සිත පුරාම එදින මෙන්ම තැන්පත්වී ඇති බැව් දැනේ. 

ලිපිය ඉතාම කෙටි වුවත් එහි සඳහන් ව තිබූයේ කෙනෙකුගේ ජීවිතය හා බැදී පැවති තීරණාත්මක හමුවකි. 

 සුළු පියා සහ මව සමඟින් ගෙවෙන නිවසේ විසීම දිනෙන් දිනම ගැටළු සහගත වී ඇති බවත් , තව දුරටත් එම නිවසේ ජීවත්විය නොහැකි තරමට තමන්ගේ ජීවිතය අසරණ වී  ඇති බවත් එබැවින් අවසාන විසඳුම ලෙසින් නිවසින් පිටත්ව නුවර පැමිණෙන බවත් , කිසිවෙකුත් නාඳුනන නුවර තමන් හඳුනනා ,  ජීවිතයේ සිටින එකම විශ්වාසවන්තයා  ඔහු පමණක් බවත් හරියටම  එදින උදෑසන දහයට පමණ විත් රැජිණ හෝටලය ඉදිරිපස දී ඇය හමුවන ලෙසත් ලිපියෙන් දන්වා තිබුණි.

ලිපියේ සඳහන් දිනය ඉක්ම ගොස් මසක පමණ කලක් ගතවී තිබූ අතර එම සඳහන් දිනයේ දී තමන් ද සිටියේ එම නුවරම වීමත් , ඇය රැජිණ හෝටලය අසල තමන් එනතෙක් පෙර මඟ සිටිද්දී කිසිවක් නොදත් අමනුස්සයකු ලෙස මිතුරන් හා එක්ව පාඩම් කරමින් තමන් සිටි ආකාරය මතක් වී ඔහුට උහුලා ගත නොහැකි දුකක් වේදනාවක් දැනෙන්නට විය.

ලිපිය පොඩි කර ගත් අතින්ම බිත්තියට තදින් පහර දුන් මීෂා නලල ද බිත්තියේ හප්පමින් නොහඬා හඬන්නට විය.

ඇය නිසා උපන් ශෝකයත් , ඔහු නිසා උපන් ආත්මානුකම්පාවත් , තම මව නිසා උපන් කෝපයත් කැටි කර ගත් හැඟීම් අස්සෙන් නැවත වාරයක් ඇසුනේ ........... “ අම්මට තිබ්බ අම්මෙ මට මේ ගැන කියන්න “ යන්න පමණි.

සිහි එලවා ගන්නා විට ඔහු සිටියේ මිතුරෙකුගේ බෝඩිමේ ය. නිවසින් පිටත් වී ගිය මීෂා නැවතත් ඒ නිවසට පැමිණියේ වසර ගණනාවකට පසු බැව් මම පසුව දැන ගතිමි.

එදා නුවර දී ඇයට කුමක් සිදු වන්නට ඇත් ද, රැජිණ හෝටලය ඉදිරිපිට ඇය කොතරම් වේලාවක් බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින්නට ඇති  ද , තමා ගැන අවසානයේ දී ඇය කුමක් සිතන්නට ඇත් ද, තමන්ට  ලෝකයේ සිටි එකම හිතෛශීවන්තයා ද පිටුපෑ බව ඇයට හැඟෙන්නට ඇති ද. නිකමට හෝ ඇගේ ලියුම ඔහුට නොලැබුන බැව් ඇයට සිතෙන්නට ඇති ද. අවසානයේ දී ඇය කුමක් කරන්නට ඇති ද. කෙසේ හෝ ඇය දැන් කොහෝ හෝ යහතින් සිටිනවා ද?

ඇය ගේ මතුගම  නිවසට ලියූ ලිපි දෙකකටම ඇගෙන් පිළිතුරු නොලැබුනු අතර අවසානයේ දී යැවු තෙවන ලිපියට පිළිතුරු ලෙස පැමිණි ලිපිය ද ප්‍රදී විසින් ලියූවක් නොවිනි. එය ඇගේ මව විසින් ලියන ලද ඉතා කෙටි ලිපියක් වූ අතර , ඇය ගැන තව දුරටත් නොසොයන ලෙසත් , ඇයඉක්මනින්ම විවාහ වීමට තීරණය කර ඇති බවත් එහි ලියා තිබුණි.

එම ලිපියෙන් නොසැලුනු මීෂා  ප්‍රදී අසනීපව රෝහල් ගතව සිටින විට තමන්ට දන්වා එවීමට තරම් සිත් ඇතිව සිටි ප්‍රදීගේ යෙහෙළිය ට ද ලිපි කිහිපයක්ම ලියූ නමුදු ඒ එකකට හෝ පිළිතුරක් ලැබුනේ නැති හෙයින් ප්‍රදී ගැන සෙවීම අත් හලේය. නමුත් ඇගේ ජීවිතයට යම් අභාග්‍යසම්පන්න යමක් සිදු වී නම් එයට වගකිවයුතු එකම කෙනා තමා බව ඔහු දැඩිසේ විශ්වාස කලේ ඇය මුළු ලොවක් හැරපියා ඔහු වෙත පැමිණි දිනයේ දී ඇය මඟහැර ගත් වරද තමන් සතු වීම නිසා ය.

ඇගේ සිහින් කෘශ ශරීරයත් , ඇය ජීවිතයේ විදි වේදනා සියල්ලත් , ඇගේ නිල්මිණි දෑසත් ඔහුගේ මතකට නොනැගෙන දිනක් නොමැති තරම් වූයෙන් ප්‍රදීගේ මැදිහත් වීම නිසාම නවතා දමා තිබූ දුම්බීමටත් , දිනපතා මත්පැන් පානයටත් යොමු වූ මීෂා පුරුද්දක් ලෙස ගංජා සුරුට්ටු ඉරීමටත් යොමු වූයේ විශ්ව විද්‍යාල ජීවිතයේ ලද මහා නිදහස ද උපයෝගී කර ගනිමිනි. 

කිසිදාක උඩ බොත්තම් දෙක තුනක් නොපියවෙන කමීසයක් හැද , දිගු කලිසමකින් හෝ රෑ කෝච්චියේ යනෙන ඇතැම් දිනක සරමකින් ද රබර් සෙරෙප්පු පය ලා මුහුණ පුරා රැවුල වවා වසාගන්නට හදන මුහුණේ දුක පිරි දෑස් සැඟවුනු කණ්නාඩි කූට්ටම් අතරින් ඉදහිට සිනාසෙන ඔහු පෙන්වා “ කවුද මේ , කොල්ලා “ යැයි ඇසූ ඕනෑම කෙනෙකුට ලැබෙන එකම පිළිතුර වන්නේ , “ හොඳ කොල්ලෙක් , එකම වරද ඩේලි බොනේක තමයි. “ 

රැජිණ හෝටලය කහ ඉර ඉදිරිපස ට වී යමෙකු එනතෙක් මේ සුන්දර තරුණයා මඟ බලා සිටිනවා  ඇතැම් දිනෙක සමහරුන්ගේ දෙනෙතට ලක් වේ. ඇය එදා තමා එනතෙක් මෙතැන මෙහෙම බලා සිටින්නට ඇතැයි සිතමින් කල් මැරීම ද ඔහුගේ සිතට යම් සැනසිල්ලක් ගෙනෙනවා වන්නට ඇතැයි එවිට මට සිතේ.

විශ්ව විද්‍යාල ජීවිතයේ ඔහුගේ හොඳකම නිසාම ඔහු වටා නිතර නිතර ගැවසී ගත් විවිධාකාර කෙල්ලන්ගේ අඩුවක් නොමැති වූ අතර ඉන් ඇතැමෙක් ඔහු ගැන ඇතිකර ගත් ප්‍රේමණීය බලාපොරොත්තු සහගත වූ කෙල්ලන් විය. නමුත් ප්‍රදීගේ මතක අතර සෑම දිනකම අග මධුපිරි වීදුරුවට යට කරන මීෂාට තරුණියක් ගැන ඇල්මක් ඇතිවීමට කල්ගත වූ අතර එය ද විශ්ව විද්‍යාලයෙන් පිටත දී අහඹු ලෙස මුණ ගැසුණු තරුණියකි.

දින , සති , මාස අවුරුදු ගණන් ගෙවී යද්දී ඇය ගැන මතකය අමතක වූවා යැයි පැවසීම නිවරදි නොවන නමුත් ඇය ගැන මතකය මතුපිටට ඒමට තරමක් ජීවිතයට නිනව්වක් නොමැති විය. විවාහය , දරුවන් ලැබීම , රැකියාව අතර ගත වී යන කාර්ය බහුල පැය වල දී කාර්යාල මේසයේ යටම ලාච්චුවේ සුරැකිව තිබුනේ ඇය ගැන මතක සටහන් ය. 

ඇය කොහේ හෝ යහතින් සිටිනවා වන්නට ඇතැයි ඔහු බොහෝ විට සිතයි. තමන් දැන් දරු දෙදෙනකුගේ පියෙකු වී ඇති සේම ඇය ද දියණිකගේ හෝ පුතෙකුගේ මවක් වී නුවර රැජිණ හෝටලය ඉදිරිපිට ඔහු එනතෙක් රැදී සිටිද්දී හටගත් සංතාපය අමතක කර සිටිනවා වන්නට ඇත. 

ඔය අතරතුරු දිනක හදිසියේම තම පාසල් මිතුරන්ගේ හමුවකට යාමට මීෂාට ඉඩකඩ ලැබෙන්නේ අහම්ඹයෙකි........

අවසාන කොටස ඊළඟ ට 

Saturday, February 17, 2018

ආදර ප්‍රදී 12

කලින් කොටසට මෙතනින් යන්න

ආදර ප්‍රදී - 12



අගෝස්තුවේ අවසාන සතියේ පැමිණි ලිපියකි. ලිපියේ පිටත අකුරින්ම ඒ ප්‍රදීගේ ලිපියක් බැව් දැන ගත් මීෂාට එතුල වූ දෑ කියවීමට ඇති වූයේ නොඉවසිල්ලකි.

එය ඉතා ශෝකජනක කෙටි ලිපියක් විය. ලිපිය කියවා හමාර වනවාත් සමඟින්ම තෙත් වන දෑස කොතරම් වෙහෙස ගත්තත් වලක්වා ගැනීමට මීෂාට නොහැකි විය.

ප්‍රදී මානසික රෝගියෙකු බවට පත් කරන්නට ඇත්තේ ඇගේ නෑයින් විසින් වන්නට ඇති බැව් මීෂා මේ වන විට සැක උපදවා ගෙන සිටින්නේ ප්‍රදීගේ පියාට අයත් මහ ගෙදරත් තවත් දේපල කිහිපයකත් සුව ඒ වන විටත් විදිමින් සිටියේ ඇගේ නෑදැයින් නිසාය. පියාගේ අභාවයෙන් පසු ප්‍රදී නැවතත් පියා ගේ ගාලු කොටුවේ වූ මහගෙදර පදිංචියට පැමිණීම නොරිස්සූ ඔවුන් ඇය පිස්සියක බවට පත් කරන්නට ඇති බැව් මටද දැන් සිතේ..........

එම නෑදැයන්ගේ ගැරහුම් අපහාස විඳගෙන සිටියත් මේ මානසික වදය සීමා මායිම් ඉක්මවා යන විට දී නැවතත් ප්‍රදී ගේ මව සහ සුළු පියා කරා ඒම හැර ඇයට වෙනත් කිසිදු විසඳුමක් ඒ වන විට පෙනෙන්නට නොතිබුනා වන්නට ඇත. 

අසරණ ප්‍රදී ඉන් ඇඳ වැටී තිබුනේ තවත් අඳුරු අගාධයකට වීම ඇගේ දෛවය වන්නට ඇතැයි සිතා හිත හදා ගැනීම සිදු කර ගන්න මීෂා ඒ වන විට ප්‍රමාද වී වැඩි ය.

ලිපියේ පරිදි ඇය ඒ වන විට තම සුළු පියා ගේ අඩම්තේට්ටම් වලට පමණක් නොව ශාරීරික බලහත්කාරකම් වල ගොදුරක් බවට ද පත්වී තිබුණි.  උස මහත කළු මදාවි සුළු පියාගේ ශරීරය හා පොර බැදීමට තරම් ඇගේ කෘශ සිනිඳු ශරීරය ට ශක්තියක් නැතිවා මෙන්ම කිහිපවාරයක් බන්ධනාගාර ගත වී පැමිණ තිබූ ඔහුගේ චන්ඩි කමට එරෙහි වීමට තරම් හයියක් ඇගේ මවට ද නොතිබුණා වන්නට ඇත.

තම කුඩා බාල සහෝදරයන් සමඟින් නිතරම ගැවසෙන ලෙසත් රාත්‍රී නින්දට යාමේ දී ද කුඩා සහෝදරයන් සමඟින් නින්දට යන්න ලෙස උපදෙස් දීමත් , හැකි ඉක්මනින් ඇයගේ සියළු කරදර වලට සැනසීමක් ලබා දෙනබවට පොරොන්දු දීමත් හැරෙන්නට ඒ වන විට දී මීෂාට කල හැකි කිසිත් නොවීම මීෂාගේ හදවතට ගෙන දුන්නේ වේදනාවකි.

මේ අතර රටේ සිවිල් තත්ත්වය එන්න එන්නට දරුණු වන්නට වීම ද නිසා මීෂා ගේ විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය වී තිබූ බැවින් ඒ බැව් දන්වමින් ප්‍රදී ට ලියූ මීෂා පිළිතුරු එවන විට නිවසේ ලිපිනයට එවන ලෙසට ඇයව දැනුවත් කරමින් ඇයට ලියූ අතර සියළු ප්‍රශ්න නිරාකරණය වන දිනය වැඩි ඈතක නොවන බැව් පවසමින් ඇගේ සිත නිවාලන්නට ද වෑයම් කළේය.

නමුත් සිදු වූයේ නොසිතූ  දෙයකි. ඒ වන විට ද අවසන් නොවී තිබූ විශ්ව විද්‍යාල විභාගය සඳහා සූදානම් වීම ද කළ යුතු ව තිබූ දෙයකි. විභාග ය පවත්අවන අතර තුර උන්හිටි ගමන් වසා දැමූ විශ්ව විද්‍යාලය නැවත ආරම්භ වන්නේ කවදාදැයි හරියටම පැවසීමට කිසිවෙකුටත් නොහැකි වූවද කොයි මොහොතක හෝ විශ්ව විද්‍යාලය ආරම්භ වූ සැනින් විභාගයට මුහුණ දීමට සිදු වන බැව් නම් මීෂා ඇතුලු පිරිස හොඳින්ම දැන සිටි කාරණාවකි.

එබැවින් නිවසට වී කාලය මැරීමට නොහැකි බැව් අවබෝධ කර ගත් ඔහු තමාගේ නුවර යහළුවෙකු සමඟින් ක්‍රෑම දෑමීමට සියල්ල සුදා නම් කර ගත් අතර , ඔහුට නිතරම ලියන ප්‍රදීව දැනුවත් කිරීමට ද මීෂා අමතක නොකලේය . නමුත් ඔවුන් නැවතී සිටින්නට අදහස් කරන නුවර ස්ථානයේ ලිපිනය ඇය වෙත දන්වා යැවීමට නොහැකි වූයේ එම ස්ථානයේ ලිපිනයක් ඔහුගේ මිතුරාද නොදැන සිටි බැවිනි.

සැප්තැම්බරයේ මැද සතියේ සිට නුවර ට කොටු වූ මීෂා ට වරින් වර ප්‍රදීව මතකයට නැගුන ද ඇයට ලිවීමටවත් ඇය ගැන විපරම් කිරීමටවත් තරම් නිනව්වක් නොලැබුනේ මිතුරන් සමඟින් අධ්‍යයන වැඩ වල නිරත වීමත් එවක පැවති සිවිල් වාතාවරණ තත්ත්වය අනුව ක්‍රියාකාරීව එළි පහලියකට බැස ඇවිද යාමට තරම් වත් සුදුසු පරිසරයක් නොපැවති බැවිනි.

ඔක්තෝම්බරයේ මුල් සතියක නැවත තම නිවසට පැමිණි මිෂාට හමුවූයේ බාගෙට විවෘත කරන ලද තැපෑලෙන් පැමිණි ලිපියකි.

ඒ ලිපි කාගෙන් දැයි ඔබ මෙන් මම ද දැන් හොඳින්ම දැන සිටින පරිදි ඒවා ප්‍රදීගේ ය. විශ්ව විද්‍යාල නිවාඩු සමයේ නිවසට පැමිණ නැවතත් නුවර බලා හැරී ගිය කාලය ආසන්න දිනක ලැබෙන්නට ඇතැයි සිතිය හැකි වූ එම ලිපිය කියවා බැලූ මීෂා ගේ සිත තුල උපන් නේ තදබල කෝපයකි. ඒ ඇය සමඟින් නම් නොව තමා නමට පැමිණි ලිපි විවෘත කර බලා කියවා , අඩු ගනන්නේ දැනුවත් කිරීමක් වත් සිදු නොකර කිසිවක් සිදු නොවුනාක් මෙන් සිටිනා තම මව කෙරෙහි ම උපන් කෝපයකි.

“ අම්මා ..... කවද මේ ලියුම් ආවේ “

“ උඹ නුවර පාඩම් කරන්න ගිය දවස් වල “

“ ඇයි අම්ම මගෙ ලියුම් කැඩුවේ . කැඩුවට කමක් නෑ අඩු තරමේ අම්මට තිබ්බා මට ටෙලිග්රූම් එකකින් වත් මේ ගැන කියන්න..........“

ගැහෙන ඇඟිලි අතරින් ගිලිහී යා නොදී රදවා ගත් ලිපිය තම මව වෙත දිගු කරමින් කෝපය පිටවෙන දෑසින් වෙවුලන දෙතොලින් විමසන මීෂාගේ සිතැඟි මේ යැයි හරියටම පැවසීමට ඔබටත් මටත් නොහැක.

“ ජාතියක් ජන්මයක් නැති එකෙක් කර ගහ ගන්න ද උඹ හදන්නේ ?“

තව දුරටත් ඇය හා වාද කර පලක් නොමැති බැව් වටහා ගත් මීෂා ගුලිකර ගත් ඇදුම් කිහිපයක් බෑගයට ඔබා ගෙන තම නිවසින් පිටවූයේ කෝපය සහ වේදනාවෙන් පිරිගිය දෑසිනි.

ඔහුට මෙතරම් තරහා ගන්නට ප්‍රදී එවූ ලිපිය මව විසින් විවෘත කර බැලීමම  පමණක් හේතුවක් වන්නට ඇතැයි ඔබ සිතනවා ද?

ඉන් එහා ගිය යමක් එම ලිපියේ තිබූ බව ත් , දින කිහිපයක පමාවකින් වැලකී ගිය පොරොන්දුවක් ඉටු කිරීමට නොහැකි වීමත් නිසා මේ අද වන විටද ඔහු සිතින් සිය දහස් වාරයක් කම්පාවට පත්වන බවත් මම හොඳ හැටි දනිමි............

ඇගේ ලිපියේ වූයේ , ඇගේ ලෝකයේ සිටිනා තම විශ්වාසතමයාට ලියූ එකම දයාබර ඉල්ලීමකි. එය ඉල්ලීමකට එහා ගිය ආයාචනයකි. අතීතයට ගියත් යළිත් පිළිසකර කළ නොහැකි තරමේ හදවත පාරවනා අසරණ බවක ආරම්භයකි.....................

ආදර ප්‍රදී 11

ආදර ප්‍රදී 11


අවසානයේ ලියුම් ලැබීම සහමුලින්ම නැවතී මාස ගනනක් ගත වී තිබූ එක් අගෝස්තු මාසයක මුල්  දිනක දී හදිසියේම පැමිණි ලියුමකි. නමුත් ඒ ඇගේ අත් අකුරු නොවූ මුත් ඇය ගැන දන්වා එවා තිබූ ලියුමකි. ලිපිය කියවූ වහා කලබලයට පත් වූ ඔහු යහළුවෙකු ද සමඟින් තකහනියේ සූදානම් වන්නේ කොහේ හෝ යාමට ය .......................කලින් කොටසට මෙතනින් 

ප්‍රදී  ගේ වමට බර අත් අකුරු වෙනුවට වෙනත් ගැහැණු අත් අකුරු වලින් ලියවුනු කෙටි ලිපිය කියවූ වේලාවේ සිටම මීෂා ට අවශ්‍ය වූයේ ලිපියේ සඳහන් දේ සත්‍යදැයි බැලීමටත් වඩා ප්‍රදී ගේ මුහුණ දැක ගැනීමේ  නොයිවසිල්ලකි. 

ලිපියේ සඳහන් වංහුන් අනුව රෝහලේ වාට්ටුවෙන් වාට්ටුවට ගොස් ප්‍රදී නේවාසිකව සිටිතැයි ලියා තිබූ වාට්ටුව අභියස දී මිෂා සමඟ පැමිණි මිතුරාගේ ගමන් වේගය බාල වූ අතර , ඔහු වහා මිෂාගේ අතින් අල්ලා නතර කළේ ය.

“උඹට පිස්සු ද බන් “ ඔහුගේ දෑස් ඒ වන විටද යොමු වී තිබුනේ වාට්ටුවේ අංකය සහ නම සඳහන් පුවරුව වෙතටය.

“ උඹට ෂුවර් ද මේ වාට්ටුවමයි කියල ? “

“ ඔවු බන් යමන් “

ඒ කිසිවක් කෙරෙහි අවධානය යොමු නොකල මීෂා ගේ ගමන නොනැවතුනි.

“ අල්ලල දාපන් බන් .........පිස්සියෙක් නෙ “ මිෂාගේ ගමන නොනවතින බැව් දැන ගත් මිතුරා වේගයෙන් ගොස් ඔහුගේ අත අල්ලා ගත්තේය.

“ උඹට බැරි නම් නිකා හිටපන් “ ඔහු අත තදින් ගසා දැමූ මීෂා , දුකත් , කුතුහලයත් , ආදරයත් මිශ්‍ර වූ හැඟුම් සමුදාය එක මිටට ගුලිකර ගනිමින් , වාට්ටුවේ සිටි නොයෙකුත් ආකාරයේ ගැහැණුන් අතර ඇගේ දිගැටි , මුහුණත් , සුන්දර දෑසත් කොහිදැයි පිරික්සන්නට විය.

කෙසඟ සිරුර තවත් කෙසඟව ගොස් , ඇඳට තබා බැද තබන ලද දෑතත් , ඉන් එක් අතක අපහසුවෙන් මෙන් ඇමිණී තිබූ සේලයින් කටුවත් සමඟින් ප්‍රදී ඇද පුරා ඔහේ වැටී සිටියා ය.

ඇය ගේ ඇඳ වටා ඇගේ ඥාතින් යැයි කිවහැකි පිරිසක් වූ අතර ඉන් කිසිවෙකුත් මීෂා හඳුනන අයවලුන් නොවූ නමුත් පිරිසෙන් ඉදිරියට පැමිණි ගැහැණු ළමයෙකු , ඔහු වෙත තොරතුරු දන්වමින් ලියූ ලිපිය එවුවේ තමා බවට හැඳින්වීමක් කළා ය. ප්‍රදීගේ මුහුණෙන් විඩාබර ගතිය හැරෙන්නට  කිසිදු රෝගී තත්ත්වයක් ‍ නොපෙනුනු නමුදු , ඇය කිසිවෙකුත් සමඟින් කතා නොකරන බැව් පැවසුවේ ද ඔහු වෙත ලිපිය එවා තිබූ ගැහැණු ළමයා යි. 

ඇඳඅසල සිටින්නේ කාගේ කවුදැයි දැන ගැනීමට හෝ ඔවුන් සමඟින් කතා කිරීමට හෝ මීෂා ට අවශ්‍ය වූයේ නැත.

බොහෝ සෙයින් කෘශ වී ඇටට සම ඇලී ගිය එකාතක් බැදීම් බැම්මෙන් නිදහස් කර ගත් මීෂා , ඇය ගේ සවනට ළං ව “ ප්‍රදී....“ යැයි ඇමතූ මොහොතේ , විඩාබර දෑස් දල්වා ඔහු දෑත තුල මැදිව තිබූ ඇගේ ඇඟිලි වලින් ඔහු ගේ ග්‍රහණය තව තවත් වැරෙන් අල්ලා ගනිමින්  වචනයෙන් පැවසිය නොහැකි හැඟූම් සමුදායකින් උපන් කඳුලක් බලාපොරොත්තු දැල් වූ දෑසින් මුදා කෘශ කම්මුල් හරහා ගොස්  හිස තබා තිබූ කොට්ටය තුල ගිලී යන්නට විය.

“ ඔයා ආවේ ඔයාගේ ප්‍රදීව බලන්න ද ?“ ඇය පැවසූ එකම වාක්‍යයයි. කඳුලක් පස්සේ උපන් තවත් කඳුලක් බැගින් ගැලූ කඳුළු වැලක් අවසානයේ දී “ ඔයාට සනීප වෙනකම් මම යන්නෑ ප්‍රදී , මම හැමදාම ඔයාව බලන්න එනවා “ . දෑසින් දෑතින් හා සුසුමින් කෙරුනු ගැඹුරු කතා බව හමුවේ කාලය ගත වී යන බවක් දෙදෙනාටම නොවැටහුනි.

හෙදියක් පැමිණ , රෝගීන් බලන වේලාව ඉක්ම ගොස් ඇති බැවින් මිෂාට වාට්ටුවෙන් පිටවන ලෙස පවසන තුරුම ඇගේ දෑත් ඔහුගේ දෑත් අතර සිරකර ගනිමින් ඔවුන් එකිනෙකා කතා කලේ සුසුමින් හා දෙනෙතිනි.

ඇයගේ කතා බහත් හැසිරීමත් සාමාන්‍ය වූ වහාම ඇය වෙනත් වාට්ටුවකට මාරු කරනා බැවින් නැවතත් ඇය හමුවීමට මෙම වාට්ටුවට පැමිණීම අවශ්‍ය නැතත් පැවසූ හෙදිය , ප්‍රදී ඉක්මනින්ම සුව වනු ඇතැයි පැවසූවේ මීෂා පැමිණී පසුව ප්‍රදීගේ හැසිරීම් සහ කතාවත් ඇගේ පෙනුමත් සාමාන්‍ය තත්ත්වය පැමිණෙමින් තිබෙන බැව් පවසමිනි.

ප්‍රදී ගැන තොරතුරු දන්වමින් තමන්ට ලියනා ලෙසට ප්‍රදී ළඟ සිටිනා , තමාට ඇය ගැන දන්වා එවු ගැහැණු ළමයාට මීෂා පැවසූව ද, ප්‍රදීගේ වාට්ටුවෙන් සමුගෙන නොපෙණී යනතුරුමත් ප්‍රදී ගේ තෙත දෑස් ඔහු වෙතම වූ බවට ලියා යැවීමට තබා , ඇය ගැන කිසිදු තොරතුරක් දන්වා යැවීමට තරම් ඇය කාරුණික නොවූවා ය.

මිෂාගේ විශ්ව විද්‍යාල පළමු වසර අවසන් විභාග සමය වූ බැවින් , ප්‍රදී ගැන උපන් ශෝකයෙන් පීඩිතව සිටින්නට ඔහුට  කාලය නොවුනි , විභාගයත් ප්‍රදීත් අතර එහා මෙහා වන සිත අමාරුවෙන් සමබර කර ගත් මීෂාගේ විභාග සමය නිමවන විට දී ප්‍රදී රෝහලේ නොමැති වූයේ , ඇගේ භාරකරුවන් ඇයගේ ටිකට් කප්පවාගෙන බලහත්කාරයෙන්ම ඇයව කොළඹ රැගෙන ගිය බැවින් බැව් මිෂා දැන ගත්තේ රෝහලේ වාට්ටුව බාර හෙදියක ගෙනි.

ඇය ගැන තොරතුරක් දැන ගනු රිසියෙන් තමන්ට ඇය ගැන දන්වා ලිපිය එවූ ගැහැණු ළමයාට ලිපි කිහිපයක්ම ලියා යැවූව ද ඒවාට කිසිදු පිළිතුරක් නොලැබුන තැන්හි මීෂා සියළු බලාපොරොත්තු අතහැර හිත හදා ගනිමින් සිටියේ ඇය කොහේ හෝ හොඳින් ඇති බවට තම සිත ට එත්තු ගන්වමිනි.

නමුත් , අගෝස්තුවේ අවසාන දිනයක පැමිණි ඇල අකුරු සහිත කෙටි ලිපිය ප්‍රදීගෙනි..................



ඒ ගැන ඊළඟ කොටසින් 

Wednesday, December 27, 2017

ආදර ප්‍රදී 10


ආදර ප්‍රදී 

10 - කොටස


මම දන්නෑ ඇයි එයා හැමදේම මට කියන්නෙ කියලා. හැබැයි ඒක හිතල මතල හෝ ගොතල කරල කියන දෙයක් නෙමෙයි කියල නම් මට තේරෙනවා. එයාට මා ගාවදි ඒ දේවල් කියවෙනව ඇති , සමහර විට එයාට මා ළඟ දි විශ්වාසයක් , සුව පහසුවක් , නිදහසක් දැනෙනව ඇති. ඒත් ඒ හැමදේම අහගෙන දරාන ඉන්න මට, වෙලාවකට හිතට මහ බරක් දැනෙන්න ගන්නවා. ඒ ඇයි කියල හිතන්න මම බයයි.

මට මගෙ පළවෙනි ආදරය මතක නැති තරම් වෙලාවක , මනුස්සයෙක් ගෙ ජිවිතේ පළවෙනි ආදරය කියන්නේ කිසිදාක අමතක කල නොහැකි සුන්දර හැඟීම්බර දෙයක් කියල මම විශ්වාස කරන්න ගත්තෙ එයාගෙ කතාව අහලා. 
අවුරුදු ගාණකට පස්සෙ ,කොටින්ම අවුරුදු තිහකට පස්සෙ තමන්ගේ පළවෙනි ආදරය තමන්ට හරියටම මේස ඉස්සරහින් මූණට මූණ ලා වාඩි වෙලා ඉන්නවා. තමන් ගෙ ආදරණිය බිරිඳ දකුණු පැත්තෙන් , තරුණ වියේ දුව වම් පැත්තෙන්, ආදරය මුහුණට මුහුණ ඉදිරියෙන්...... එයාට මොනව හිතෙන්න ඇති ද කියලතමා මට මුලින්ම හිතුනේ.......................


“ එයා දූට කීවා , ඔයාගේ තාත්තට හොඳට උයන්න පුළුවන් කියලා , එයාට ඒ හැමදේම මතකයි “


“ මොන ගෑණිට ද අනේ හොඳට උයන්න පුළුවන් පිරිමි අමතක වෙන්නේ ,? අපිට නෑනේ ඔහොම ආදරේ කරන ඈයෝ “ මම එහෙම කීවේ ඉරිසියාවට ද ?


මේ හැමදේම ලියල තියන්න මට හිතෙන්නෙ ඇයි ? මේ දේවල් ලියන්න කියලා එයා කියන්නේ ඇයි?


කොච්චර වයසට ගියත් ඇයි මිනිස්සු ආදරේ කියන නපුරු දේ ගෑවුනු තැන් පවා මතක තියන් ඉන්නේ ?


“ එයාට ඉස්සර හොඳට ලියන්න පුළුවන්, එයා මට කවිම කොච්චර ලීව ද“


“ ලියන්න පුළුවන් වෙන්නෙ හරි ලියන්න දේවල් එන්නෙ හරි , තමන් වටේ පිටේ ඉන්න අයත් එක්ක.මූණ දෙන දේවලුත් එක්ක. මට එහෙමයි.ඒක එයාටත් එහෙම වෙන්නැති “

“ හොඳයි................මට කියන්න , ඔයාගේ ටොප් ටෙන්නෙකේ දැන් විස්සක් විතර ඇති නේ. එයින් ඔයා වැඩියම ආදරේ ඔය ෆස්ට් ලව්වෙකට ද?“


“ නෑ .................ප්‍රදී ට “

---------------------------------------------



කතාව නැවතූවේ කොතනින් දැයි හරියටම නිච්චියක් නැති නිසා පළමුව බ්ලොග් පිටුව වෙත ද, කතාව මට පවසා කලක් ගත වී ඇති බැවින් දෙවනුව ඊමේලය වෙත ලොග් වී ඔහු විසින් මා වෙත විටින් විට එවා තිබූ ඊමේල් ලිපි වෙත ද නැවතත් නෙත් හෙලීමට මට සිදු වි ය.



ප්‍රදී හමුවීමට මතුගම ගිය ගමන අදටත් ඔහුට අමතක කළ නොහැකි දින කිහිපයක් දායාද කර ඇත. මතුගම ගමනින් ප්‍රදීගෙන් සමුගන්නා විට දී දෙදෙනා එකිනෙකාට විස්තර දන්වමින් ලිපි හුවමාරු කර ගැනීමට සපථ වී තිබූනා සේම ප්‍රදී විසින් සතියකට ලිපි එකක් හෝ දෙකක් නොවරදවාම ලැබෙන්නට වූ අතර විශ්ව විද්‍යාල අධ්‍යාපනය සිදු කරන අතරතුරදිත් ඇයගේ ලිපි වලට පිළිතුරු ලියන්නටත් ඇගේ ලිපි නැවත නැවත කියවන්නටත් ඔහුට කාලය සොයා ගැනීමට නොහැකි වූයේ නැත.

නමුත් හිටි වනම ඇගෙන් ලිපි ලැබීම ත් ලිපි අතර කාල සීමාව ඉතා දිගු වීමටත් පටන් ගැනුනි. ඒ පිළිබඳව විමසා ඔහු විසින් යවන ලද ලිපි කිහිපයකට පසුව පිළිතුරු ලෙස ලැබුනේ ලිපි ලිවීමත් තැපැල් කිරීමත් ඉතාම අසූරු කටයුත්තක් වී ඇති බවයි. සුළු පියාගෙන් නිතර නිතර සිදු වන අකටයුතුකම් එයට හේතුව ලෙස ඇය දක්වා තිබූ නමුත් හරි හැටි සියල්ල ඇය විසින් නොපවසන බවත් කුමක් හෝ සඟවන බවත් ඔහුට සිතුනි. ඇයට නිවසේ වාසය කිරීම අප්‍රසන්න වී තිබූ බැව් නම් ඔහුට රහසක් වූයේ නැත.ඇගේ මවගෙන් පවා ඇයට කිසිදු සහනයක් ලැබෙන බවක් පෙනෙන්නට නොතිබුනි.

අහිංසක ඇගේ නිදහස නොමැති වීමත් විදීමට සිදු වී ඇති තාඩන පීඩනත් ගවු ගානක් දුරින් සිටි ඔහුගේ සිත ද නිතර නිතර පාරවන්නට විය. ඇය ගෙනවිත් නතර කර ගැනීමට තරම් හැකියාවක් විශ්ව විද්‍යාල සිසුවෙකු වූ ඔහුට නොමැති වූවත් ඔහු ලෙහෙසියෙන් බලාපොරොත්තු අත් හලේ නැත. ඔහු කොතරම් නම් සරල සහ නොගැඹුරු ලෙස සිතුවාද යන්න වැටහෙන්නේ තම මවගෙන් පවා ඇය නතර තම නිවසේ නතර කර ගැනීමට හැකි දැයි විමසා සිටීමෙනි.

“ කොහෙවත් යන , ජාතියක් ජන්මයක් නැති එකියක් ගේ අස්සෙ දාගන්න පිස්සු ද ? අනික කොහෙත්ම ගැලපෙන්නැති එකියක් “

“ ගැලපෙන්න .......... පිස්සුද අම්මට. ඒ මගේ හොඳ යාළුවෙක්. අනික ඒ කෙල්ලට යන්න එන්න තැනක් නැතිව අසරණ වෙලා ඉන්න වෙලාවක උදව්වක් කරන්න බැරි මොක ද ?“

“ ඕනි නෑ. ඔය අනුකම්පාව තමා අන්තිමට භූමිකම්පා වෙන්නේ. මෙහෙ ඉඩ නෑ රස්තියාදු ගහන ගෑණුන්ට “

එයට මවගෙන් ලැබුනු පිළිතුරු ඉතා දෘඩ වූයෙන් තම ම සමඟින්ද කාලයක් යන තෙක් ඔහු හිත නොහොදින් කල් ගෙවුවා පමණක් නොව නිවසින් ඈත්ව වාසය කිරීමට තරම් ඔහුගේ සිත දැඩිව තිබුණි.

නමුත් ඔහු ඇයට නවාතැනක් සෙවීම අත් හලේ නැත. තම සිතට වද දෙන මේ ප්‍රශ්නය ගැන කතා කරන එක් අවස්ථාවක දී ඔහුගේ පිහිටට ආවේ මිතුරෙකි. මිතුරාගේ ද මිතුරෙකු ගේ නිවසේ ප්‍රදීට නවාතැනක් සොයා ගැනීමට අවසානයේ දී හැකි විය. එසේම ප්‍රදී ද එහි නැවතීමටත් නිවසේ කටයුතු සඳහා උදව් කිරීමටත් එකඟ වූවා ය. 

සතියට දෙකක් ලෙසින් ලැබෙමින් තිබූ ප්‍රදීගේ ලිපි මාස දෙකකට එකක් දක්වා අඩු වී තිබූ අතර සම්පූර්ණ කොළ තුන හතරක දිගින් යුතුව තිබු පෙර ලියුම් වලට වඩා බෙහෙවින් කෙටි වූ ඒවා ද විය.

අවසානයේ ලියුම් ලැබීම සහමුලින්ම නැවතී මාස ගනනක් ගත වී තිබූ එක් අගෝස්තු මාසයක මැද දිනක දී හදිසියේම පැමිණි ලියුමකි. නමුත් ඒ ඇගේ අත් අකුරු නොවූ මුත් ඇය ගැන දන්වා එවා තිබූ ලියුමකි. ලිපිය කියවූ වහා කලබලයට පත් වූ ඔහු යහළුවෙකු ද සමඟින් තකහනියේ සූදානම් වන්නේ කොහේ හෝ යාමට ය .......................

ඉතිරිය ඊළඟ කොටසින් ............................

ආදර ප්‍රදී 9

ආදර ප්‍රදී
9- කොටස

මේ කතාවේ ලිවිල්ල ආරම්භ වන්නේ දැනට කාලයකට කලින් වුවද එදා පොරොන්දු වූ පරිදි කතාව ලියා හමාර කරන්නට අදටත් නොහැකි වී ඇත්තේ , ලියන්නට ගිය කතාව නිසා අලුත් කතාන්දරයක් උපන් බැවිනි. ලියන්නියත් , කියන්නාත් අතර මේ වන විට ගොඩනැගී ඇති කතාන්දරය වඩා ශක්තිමත් කතාව වූව ද කියන්නා විටින් විට අතීත කතාවේ ලියවිල්ල ගැන ප්‍රශ්න කිරීමට පටන් ගෙන ඇති බැවින් පැරණි ලිපි සොයමින් කතාව තෙම්පරාදු කිරීමට සිදු වී ඇති බැව් පවසමි.


කතානායකක මීෂා ගේ පාසල් පෙම්වතිය වූ “ අනූෂා “ ගේ හැර යාමෙන් පසුව , ඔහු ටිකින් ටික ළං වූ ඔහුට ටිකින් ටික ළං වූ අනිත් මිතුරිය වූයේ “ ප්‍රදී“ ය.


නමුත් ප්‍රදී , දෙවන වර විභාගය සඳහා මීෂා උගත් පාසල මෙන්ම එ් සීතල ප්‍ර දේශය ද හැර දා ඉන් ඉතා දුර බැහැර වූ ගාලු ප්‍ර දේශයට සංක්‍රමනය වූවා ය. නමුත් ඇය මීෂාට දිගින් දිගටම ලිපි ලිවීම නරත නොකලා ය. අද මෙන් ෆේස් බුක් , වට්ස් ඇප් , වයිබර් තියා , ඊමේල් ලිපිනය ද නොමැති වූ එකල තිබූ එකම ලිපිනය වූයේ තැපැල් ලිපිනයයි.


ප්‍රදී ඔහුට දිගින් දිගටම ලීවා ය. ආදර මීෂා ලෙස පටන් ගන්නා ඒ ලියුම් අවසන් වූයේ මීට ආදරණීය ප්‍රදී ලෙසිනි. ලගක් වන තෙක් ඔහුගේ කාර්යාලය මේස ලාච්චුවේ ඔහු ළඟ සුරැකිව තිබූ ඇගේ ආදරය පිරි ලියුම් සහ කෙසඟ පෙනුමැති ඇගේ පින්තූරය , ගිනි දෙවියාට පිදුවේ ඔහුගේ සුන්දර පුද්ගලික ලේකම්වරියයි. ඇතැම් දින වල දී තමන්ගේ ප්‍රධානියා කතාවක් බහක් සිනාවක් නොමැතිව බලාගත් වනම බලා හිදින්නේ , මේස ලාච්චුව ඇර පිටතට ගන්නා යමක් දෙස බොහෝ වේලාවක් බලා සිටීමෙන් අනතුරුව බැව් සොයා ගත් ලේකම්වරිය ඔහු නොමැති එක් දිනක මේස ලාච්චුව හැර බලා ඔහු ගේ සිනා කතා නතර කරන ඒ අපූරු ලියුම් මිටියත් ඡායාරූපයත් පුලුස්සා දමන්නීය.


මේ අතීත කතා සියල්ල අතරේ අදටත් මිෂා ගේ මතකයේ ඇත්තේ ප්‍රදී දකින්නට ඇය සොයා ගිය ගමනයි. ඇගේ ලිපි වලින් ඇයව දුටුවද ඉවසා ගත නොහැකි දැක ගැනීමේ ආසාවෙන් පෙලුනු ඔහු දිනක් , ඇය සොයා යන ගමන ආරම්භ කළේ ය. එවක ඔහු දෙවන වර විභාගය සඳහා ආවරණය නොවී තිබූ විෂය කොටස් ආවරණය කර ගැනීමට කොළඹ පැමිණි සිටි සමයයි. ඔහුගේ මෙම හොර ගමන ගැන ඔහු හැරුන විට දැන සිටියේ ඔහු නතර වී සිටී ඥාති නිවසේ වැඩිමහලු දියණිය පමණි.


ප්‍රදී ගේ ලිපි වල තිබූ වං හුං ඔස්සේ ඔහු ඇය සොයා යන විට ඇය , ගාලු නිවසින් පිටවී , තම මව සමඟින් වාසය කරමින් උන්නීය. මවගේ දෙවන විවාහයේ පියා , තම කුඩා සහෝදරයා සමඟින් එම නිවසේ ඇය වාසය කලේ වෙනත් යාමට කිසිදු තැනක් නොමැති නිසා බැව් ඇය මීෂා වෙත එවා තිබූ සෑම ලිපියකම පාහේ අකුරු වදන අතර සැඟවී තිබූ රහසකි.


මතුගම ආසන්න ගමක් වූ එහි යාමට මතුගම නගරයට පැමිණි මීෂාව , ඇගේ ගෙදර එක්කරන් යාමට ඇගේ කුඩා සහෝදරයා පැමිණ සිටියේ මීෂාගේ පැමිණිම ලිපියක් මඟින් ප්‍රදීට කලින් දැනුම් දී තිබූ බැවිනි. වෙසක් පොහෝ දිනට දිනකට පෙර දිනක් වූ එදින , ප්‍රදී හමුවීම පෝයට කලින් හඳ දැක්කා හා සමාන විය. ඉතා උණුසුම් වැළඳ ගැනීමකින් පිළීගැනුන ඔහුට , ඇය හා කතා කිරීමට දහසක් දේ තිබුණි. තරමින් කුඩා වූ ඒ නිවසේ සිටි ඇගේ බාප්පා තරමක දෘඩ ගති ඇති නහරකාර පිරිමියෙකු විය. වරක් හෝ දෙවරක් හිර බත් රසය විඳ ඇති ඔහු යටතේ සිටි ඇගේ මව අහිංසක පෙනුමක දැරූ නමුත් තම දියණිය කෙරෙහි උපන් ආදරය පෙන්වා ගත නොහැකිව තම ස්වාමියාට යටත්ව සිටින බවක් මීෂාට දැනුනි. බාප්පා දුටු විටම ඔහුට සිතුනේ “ප්‍රදී“ ඔහුගෙන් ඉතාම පරිස්සම් විය යුතු බවයි.


අදටත් මතකයේ රැදී ඇති ඒ සුන්දර දින දෙක ගත කල අපූරුව මීෂාගේ වචන වලින්ම ලියන්නට සිත්වෙයි.


“ එදා අපි ගොඩක් වෙලා කතා කර කර හිටියා. මම පුටුවෙ වාඩි වෙලා ඉද්දි , ප්‍රදී හිටියෙ මගෙ පාමුල බිම වාඩි වෙලා. මගෙ ඔඩොක්කුවෙ ඔළුව තියන්. මම හිතන්නේ එයාගේ හිතේ තිබ්බ කරදර බර ඔක්කම සැහැල්ලු වෙන්න ඇති එදා.එයාගේ මල්ලි වරින් වර ඇවිත් අපි දිහා එඹිල බලල ගියා “


“ එදා රෑ වෙනකම් අපි කතා කර කර හිටියා. රෑට නිදාගන්න එයාල මට ගෙදර තිබ්බ කාමර දෙකෙන් එකක් වෙන් කරල තිබ්බා.ඒත් ගොඩක් රෑ වෙනකම් අපි දෙන්න ඇඳට වෙලා කතා කර කර හිටියා “


“ යන්න අනේ බොරු නොකියා. රෑ වෙනකම් අවුරුදු විස්සට ලං වෙන්න ඉන්න කොල්ලෙකුයි කෙල්ලෙකුයි නිකම් කතා කර කර ඉදී ද අනේ..... ඔයා මට බොරු කියනවා “ මීෂා ගේ අතීත කතාව අහන් හිටපු මගේ කැත හිත එළියට පැන්නා.


“ ඔවු ....අපි බදා ගත්තා ,වැළඳ ගත්තා , මම ප්‍රදීගේ නලලත් ඉම්ඹා.හැබැයි ඉන් එහා දෙයක් නම් සිද්ධ වුනෙත් නෑ. සිද්ධ වෙන්න තරම් හිතට ඔයා කියන විදිහෙ හැඟීමක් ආවෙත් නෑ. මම කියන්නෙ ඇත්තමයි “


“ හරි හරි ඉතින් ඊට පස්සේ ?“ 


“ඊට පස්සෙ දවසේ , අපි ගියා එයාල නාන ළිඳට , ඒක තිබ්බෙ වත්ත පහල නිස්කලංක තැනක. මට තාමත් හිතා ගන්න බෑ , ඇගේ නොපෙන්විය යුතු තැන් නොපෙනෙන්න කොහොමද එච්චර හොඳට ප්‍රදී ඇඳුම් මාරු කරේ කියලා “


“ එහෙනම් දෙන්න එක්ක ළිඳෙත් එකට නෑවා , හරි හරි කමක් නෑ කතාව කියන්න කෝ “


“ එදා රෑ තමයි වෙසක් පෝය තිබ්බෙ.එදා හවස මායි ප්‍රදීයි , ප්‍රදීගේ මල්ලියි එකතු වෙලා වෙසක් කූඩු හැදුවා. ප්‍රදී විතරක් නෙමෙයි , එයාගේ මල්ලිත් හිටියෙ හරිම සතුටින් , ඊට පස්සෙ රෑ වෙද්දි අපි පන්සල් ගියා “


“ ඉතින් ................“


“ ඉතින් ..........ඊට පස්සෙ දවසෙ උදේ මම ආපහු එන්න ආවා. මට තාමත් මතකයි ඒ කතා කරන ඇස් මම එන්න එද්දි මා දිහා බලන් හිටපු හැටි. ඒ වෙද්දිත් අපි දෙන්නට දෙන්නා “ආදරෙයි “ කියල කියල තිබ්බෙ නෑ “


“ ඒ උනාට ආදරෙයි ? “ එහෙමෙයි....................

“ සමහර විට අනුකම්පාව ............ සමහර විට ආදරේ වෙන්නත් ඇති ..............“


“ ඉතින් ......................“


“ ඉතින් .............. ඊට පස්සෙත් එයා මට දිගටම ලිවුවා ............ මම දෙවෙනි සැරේට විභාගෙ ලියල ප්‍රතිඵල එනකම්මත් , ඒ ප්‍රතිඵල වලින් විශ්ව විද්‍යාලයට තේරෙනකම්මත් එයා දිගටම මට ලිවුවා. මම විශ්ව විද්‍යාලයට තේරුන එකට එයා ගොඩක් සතුටු වුනා........ .ඒත් හිටි ගමන් ........... “ කතාව මදකට නතර කල මීෂා ..........ගේ ඇස් ඈත නොපෙනන මානෙකට යොමු විය.


“ කියන්න කෝ ........ඉතින් මොකද වුනේ “ ඔහුගේ කලව මත තිබූ මගේ දකුණතින් වැරෙන් ඔහු සොලවමින් අසන්නට වූයේ මම සිත්පිත් නැත්තියක මෙනි.


“ හිටි ගමන් ..........එයාගෙන් ලියුම් ලැබෙන්නෙ නැතිව ගියා..............“ 


“ ඒ කීවේ ......................ප්‍රදී ට මොකද වුනේ ..............? 


ඒ ගැන දැන ගන්න ඊළඟ කොටස කියවන්න.

ආදර ප්‍රදී 8

ආදර ප්‍රදී
8 වන කොටස

“ උඹ මගෙ කතාව වෙනස් කරනවා “ ඒක නම් කීවෙ ටිකක් විතර නොරිස්සුමෙන්මයි.


“ අනික ......... උඹ දැන් මගෙ කතාව ලියනෙක දවසින් දවස පහු කරනවා “ නොරිස්සුමට තවත් ටිකක් ඔහු එකතු කලා.


“ ඇත්ත ට ........... මට ඉරිසියයි.ඒකයි නොලියන්නේ “ අත් දෙක පිටිපස්සට කරල බංකුවට බර දීලා හිටපු මම දකුණු පැත්තෙ උරහිස පද්දල අරන් ඔහුගෙ උරහිසෙ වද්දන ගමන් කීවේ , ඒ කතාව වැඩිය සීරියස් ගන්නෙ නැති විදිහට. ඒත් දැන් බලද්දි ඇත්තටම මට “ප්‍රදී “ ගැන හරිම ඉරිසියාවක් ඇති වෙමින් තියනව වගේ


“ උඹ මගෙ කතාවේ කොටසක්ම නැති කරල දාලා “


“ මට කීව ටික තමා අනේ මම ලීවේ. ප්‍රදී ඉස්කෝලෙන් ගියාට පස්සෙ , එතන මොකක්ද හිස් ගතියක් තිබ්බ නේ. “

“ නෑ ....... මම උඹට කීවා. ප්‍රදී ෆස්ට් ශයි එක කරාට පස්සෙ සෙකන්ඩ් ශයි එක කරන්න ගාලු ගියා. මට මතක හැටියට නම් සංඝමිත්තෙට. එයාලට තිබ්බා ගාලු කොටුව ඇතුලෙ ලොකු ගෙයක්.ඒක අයිති එයාගේ තාත්තට. හැබැයි .......ඒකෙ හිටියෙ එයාගෙ නැන්දා...........ප්‍රදී ගියේ මේ නැන්ද ළඟට.......... ඒත් උඹ කතාව එහෙම් පිටින්ම වෙනස් කරල “

තව දුරටත් ඒ නොරිස්සුම දරන්න බැරි නිසා නිහඬ වුනු මම පරිගණකය විවෘත කරපු ගමන් ඔහු මට මීට කාලෙකට කලින් එවල තිබ්බ හැම ඊමේල් එකක්ම ආපහු චෙක් කරන්න ගත්තෙ මට මඟෑරුනු ඒ කොටස් ටික හොයන්න.
-------------------------------------------------------------------
ප්‍රදී ව ඇරලන්න ප්‍රදීගේ දඹේතැන්න ගෙදරට ගිය දවස මතකයේ සුන්දර දවසක් වෙලා අදටත් ඉතිරි වෙලා තියනවා. “ සිහින ලොවක් දුටුවා ...... මතකයි “ සිංදුව ඇහෙද්දි , ඇස් දෙක පියාන ඒ දවසට යන්න අදටත් එයාට පුලුවන් ඇති. 

එදා ඇතිවුනු මිතුරුකම මේ තරම් සිත රිදවන එකක් වෙයි කියලා මීෂාටවත් හිතෙන්නෙ නැතිවැති.

අනූෂා අත්කර දුන් ප්‍රථම ප්‍රේමයේ මිහිරි මතකයත් , ප්‍රථම විරහවේ අමිහිරි දුකත් හමුවේ , උසස් පෙළ ලියූ මීෂාගේ ප්‍රතිඵලය සුබ දායක එකක් වුනේ නැති නිසා දෙවන සැරේට විභාගයට පෙනී සිටීමට ඔහුට සිදු වූයේ අනූෂා නිසා ඇති වූ අමතක කල නොහැකි විරහව ත් එක්ක.

සිත් වේදනා නැති කරන්න වෙනත් බොහෝ ක්‍රියාවන් හි නිරත වූ මීෂා ගේ සිත සුවපත් කිරීමට “ ප්‍රදී “ ගේ ආශ්‍රය ඉවහල් වෙන්න ඇති කියල මට ත් හිතෙනවා.

ඒත් , ප්‍රදී . . . . පලවෙනි සැරේ විභාගයට පෙනී සිටිමෙන් පස්සෙ එයාගේ තාත්තගෙ ගම් ප්‍ර දේශය වෙච්චි ගාලු පුරවරය බලා ගියපු නිසා මීෂා ගේ විරහී සිත තවත් වේදනාවට පත් වෙන්නට ඇති.

ප්‍රදී ගේ තාත්තාගේ නිවස ගාලු කොටුව තුල වූ විශාල පැරණි නිවසක් කියලත් එහි දැනට පදිංචි වී සිටින්නේ පියාගේ සහේදරයික කියලත් ප්‍රදී , මීෂා ට ලියපු ලියුම් වල තිබිල තියෙනවා.. ඒ ලියුම් පිටු ගාණක් දිගයි කියල මිෂා මට කියල තියෙනවා.

මීෂා ගේ දෙවන උසස් පෙළ කාලය ආරම්භ වන්නේ මෙවැනි ගැටළුකාරී ජීවන අත්දැකීම් මත වුවත් ඔහුගේ සිත ප්‍රදී ළඟ නතර නොවී යැයි කියන්නට තරම් සාධක මට නැහැ.. නමුත් ප්‍රේමයත් - මිතුරුදමත් අතර තැනක නැවතුනු නිමේශයක උපන් ස්නේහයක් ඇය වෙනුවෙන් ඔහු සිත තුල හටගෙන අද වෙනතුරු ද නොනැසී පැවතීම නම් මා සිත තුල ඉරිසියාව ජනිත කරුවන කරුණක් බැව් නොකියාම බැරිය.

පිටු ගණන් දිගැති ඒ ලියුම් පසුකාලීනව මීෂාගේ රූමත් පුද්ගලික ලේකම්වරිය විසින් පුලුස්සා නොදමන්නට , අද වන විට මේ කතාව ගෙතීමට තිබූ “ස්වර්ණමය දායදයක් “ වන්නට ඉඩ තිබුනි.

ඉගෙනීමත් , විරහී සිතත් තුලනය කර ගැනීමට මීෂා “ කරාතේ “ ඇකැඩමියකට බැදී පුහුණුව ලැබූ අතර , එහි සිදුවන සෑම දේම ප්‍රදීට ලියා යැවීමට ද අමතක නොකලේය.

ගුරුවරියක වන මීෂාගේ මවගෙන් කිසිදු උපකාරයක් , දිරි ගැන්වීමක් කරාතේ පන්තිය සදහා නොලැබීම නිසා පන්ති ගාස්තු සොයා ගැනීමට මීෂාට සිදු වූ තවත් අභ්‍යගයකි. නමුත් අද වගේ ඩිජිටල් යුගයක් නොවූ එකල කඩ , සිනමා ශාලා ආදියෙහි නාම පුවරු ඇදීමෙන් ලබා ගත් මුදල් ඔහුගේ වියදම් පියවා ගැනීමට තරම් ප්‍රමාණවත් වී තිබුනි.

පළවු වර නිමා කර ගත නොහැකි වූ විෂය නිර්දේශයන් නිම කර ගැනීමට පුද්ගලික පන්ති යාමට මීෂාට සිදු වූ අතර ඒ සඳහා කොළඹ නැවතීමත් , නැවතුනු නිවහනේ ගැහැණු ළමයින් සම්බන්ධ කතා ලිවීමටත් තවත් පිටු ගානක් වැය කිරීමට මට සිදු වනු ඇත.

කොළඹ නැවතීමට ඔහුට සිදු වන්නේ පාසලේ සිටි උසස් පෙළ ගුරුවරුන් සියල්ලන්ම ඔහුගේ පාසලේ විදුහල්පති සමඟින්ම කොළඹ නගරයේ ප්‍රධාන පාසලකට ස්ථාන මාරු කල බැවිනි. අද මෙන් පුද්ගලික පන්ති බහුල නොවූ එකල කොළඹට විත් දෙවන වර විභාගයට ඇවැසි නොලැබූ දැනුම ලබා ගන්නට සිදු වූ ව ද , සතියේ දින දෙක තුනක පාසල් මිතුරන් සමඟින් එක් වී පාඩම් වැඩ කිරීමට ද කරාටේ පන්තියට යාමට ද , ප්‍රදීට පිටු ගණන් ලියුම් ලිවීමට ද ඔහුට තිබූ හැකියාව ගැන මම තවමත් පුදුම වන්නෙමි.

පාසලේ ප්‍රධාන ගොඩනැගිල්ලක පන්ති කාමරයක කුටු කුටු ගානා කෙල්ලන් කොල්ලන් රැසක් ලොකු ගැටළුවකට මුහුණ දී ඇති බැව් දුර සිටන මට පෙනේ.පාසලේ ඉඩ කඩ මදි වූයෙන් ද යහළුවන් සියල්ලන්ටම එකතු වීමට හැකි කාලය වූයෙන් ද ඔවුන් සියළු දෙනා පාසලේ එකතු වන්නේ ඇදිරි වැටුන විට බැව් ඔවුන්ගේ කතාවෙන් හැඟේ

“ මේ වැඩේ කරන්න බෑ බන් . බලහන් දැන් කොහොමද කියලා ඕර්ගනික් කෙමිස්ට්‍රි ටික මම අහ ගන්නේ “

“ චුරු චුරු ගාන්නැතිව හිටපන් කො බන් ගෑණි වගේ . මගෙ ලග හොද ප්ලෑන් එකක් තියනවා. වරෙන් කො යන්න.අනිත් වුන් හිටපල්ලා. අපි ඉක්මනට එනවා.... “

ඉස්සර වූ කොල්ලෙකු , තවත් කොල්ලන් දෙන්නෙකු ද සමඟින් පාසලෙන් පිටව යනු පෙනේ. මීෂා ද ඒ අතර වේ.

පාසලෙන් පිටත වැටි ඇති පාර දිගේ යන ඔවුන් වසා ඇති කුඩා කඩයක් ළඟ නතර වෙනු පෙනේ. ඉස්සර වී පැමිණි කොල්ලා වට පිට විපරමෙහි යෙදෙන අතර , තවකෙකු කඩයේ විවෘත වී ඇති කොටසට ගමන් කර එහි වහලය දෙස විපරමින් බලයි. නැවත එළියට එන ඔහු අනිත් දෙදෙනාට “වරෙන් “ යැයි හිසින් සන් කරයි.

දැන් තිදෙනාම සිටින්නේ කඩයේ කුඩා විවෘත හිඩැසේය. තිදෙනාම වහලය දෙසට යොමූ නෙත් ඇතිව කටත් අයාන බලා සිටිති. මම ද හිස හොවා උඩ බැලූවෙමි.




සිංහල උළු හෙවිලි කර වහලේ කිසිදු විශේෂත්වයක් මට නම් නොපෙනේ. නමුත් වහලය බිම් මට්ටමේ සිට සැලකිය යුතු උසකින් යුතු ය.

“ උඹ නැගපන් කරට “

ඉස්සර වී පැමිණි කොල්ලා මීෂා ගේ පිටට තට්ටු කරමින් හිමින් පවසයි. එ් වදන් ගිලිහෙත්ම අනිකාගේ පිටට නැගි කෙට්ටු මීෂා ගේ අත වහලයේ තිබූ යමක් වෙත දිගු වනවාත් සමඟම කඩයේ විවෘත කොටසේ තිබූ ආලෝකය නැතිව ගොස් ඝන අදුර පැතිර යන්නට විය.

අහෝ ............මුන් වැනි ජඩ කොල්ලන්. කඩයේ විවෘත කොටස ආලෝකමත් කරමින් තිබූ බල්බය දැන් ඇත්තේ , පාසලේ ඔවුන් කලින් නැවතී සිටි පන්ති කාමරය ආලෝකයෙන් පුරවා ලමිනි. ඔවුන් පාඩම් කරයි. එකිනෙකාට විහිලු ද කරයි. ඒ අතර මීෂා ට ප්‍රදී ගේ මතකය ද විටින් විට විත් යයි.ඇතැම් විට අනුෂා ද සිත පාරයි. එවිට ඔහු කොළයක කොණක අදින බලි කුරුටු මගින් තම හැඟීම් මුදා හරියි.

“ මොනා ද බන් කරන්නේ , අනේ බන් මට මේ ටික තේරෙන්නෑ කියා දීපන් කෝ. උඹ ඉතින් කොළඹ ගිහින් අතෑරිච්චා ඉගෙන ගෙන ආවට අපට කොයින්ද බන් එහෙම චාන්ස් “ 

“ ඒ බන් අපි බල්බෙක ගලවල තියල යමු ද?“

“ ඕනි නෑ බන් . අපි වගේ මරිසි වැඩ කරන වුන් වෙන නැතිවැති නෙ. අනික ඉස්කෝලෙ බල්බ් උස්සන්නෙ කවුද බන් “ රැ බෝ වී වැඩිවිට එකිනෙකාගෙන් සමුගන්නා ඔවුහු යලිත් හමුවන පොරොන්දු පිට සමුගනිති.

නමුත් , ඔවුනටද වඩා මරිසියන් සිටිනා බැව් දැන ගන්නා විට ප්‍රමාද වැඩි ය. දින දෙක තුනකින් අතුරුදන් වන ඔවුන්ගේ විදුලි බල්බයේ හිස් තැන පිරවීමට නැවතත් මීෂා ඇතුලු තිදෙනා පැරණි කඩයේ විවෘත හිඩැසේ එකා පිට එකා නැගිලාය.

කෙට්ටු , සැහැල්ලු මීෂා උඩම කොණේය. ඔහු බල්බය ගැනීමට අත දිගු කලා පමණි.

“සලා..............................න් .“ 

එකවර සියල්ල අඳුරු වූ අතර තිදෙනා ගෙම්බන් පොලවෙ ගැසුවා සේ විසිරී ගොස්තැ න තැන වැටී සිදුවු කිසිවක් ගැන නිච්චි නැතිවා සේ අතපත ගාන්නට විය.

“ මොකක් ද යකෝ ඒ වුනේ ?“

“ කවුද යකෝ බල්බ් එකට පයිල් කටුවක් ගහපු පරයා ...............“ 

“ වරෙන් බන් යන්න ..........“

බිදුනු වීදුරු කටු ද , ඇනුනු දණහිස් කටු ද , රිදෙන ඇග පත ද සමගින් තිදෙනා පාසල වෙත දුවනු පෙනේ..... 

“ හොඳ වැඩේ “ යැයි සිනා සෙමින් මා ඔවුන් තිදෙනා දෙස බලා සිටිමි. . .. . . ඉදිරියෙන්ම දුවනා කෙට්ටු නමුත් හැඩකාර මීෂා දෙස බලා සිටිමි.